පංච ශීලය යනු?
ගිහියාගේ (උපාසක/උපාසිකා) නිත්‍ය ශීලය ලෙස සලකනු ලබන්නේ පඤ්චශීලය වේ. සිල් පද වශයෙන් පහක් (05) ඇති බැවින් මෙලෙස හඳුන්වයි.
- ඇතැම් අබුද්ධෝත්පාද කාලයන්හි පවා මෙම පංච ශීලය පවතී.(සක් දෙවියන්ගේ භාර්යාව වන සුජාතාව පෙර කෙකිණියකව සිටද, කුඹල් දුවකව සිටද පන්සිල් රැකි ආකාරය ධම්මපද අටුවාවේ ඇත)
- අතීත, වර්තමාන, අනාගත සෑම බුදුවරයෙක්ම මෙම පංච ශීලය ඉවත නොදමා උපාසක/උපාසිකාවන්ට අනුදැන සිටියි.
- සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ පංච ශීලය නිත්‍ය ශීලයක් වන අතර එය ඔහු අතින් කඩ වීමක් සිදු නොවේ. (අරියකන්ත/ආර්යකාන්ත ශීලය)
- උතුරුකුරු දිවයින් වැසි මිනිසුන්ගේ පංච ශීලයද නිත්‍ය වන අතර කඩ නොවේ.
- මෙහි ඇත්තේ වැළකීම් පහක් වේ. එනම් අකුසල කර්ම පහකින් වැළකීම් වේ.
පන්සිල් පද / ශික්ෂා පද පහ
- පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි - ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
- අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි - නොදුන් දෙය සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
- කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි - කාමමිත්‍යාචාරයෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
- මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි - බොරු කීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
- සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි - මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
(මේ එක් එක් සිකපදය ගැන වෙන වෙනම ලිපි වලින් කතා කරනු ලැබේ)
භාග්‍යවතුන් වහන්සේ පංච ශීලය/පන්සිල් අනුදැන ඇති අවස්ථා ත්‍රිපිටකයේ
✦︎ පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය
✦︎ මහානාම සූත්‍රය
✦︎ ජීවක සූත්‍රය
- මීට අමතරව තවත් සූත්‍ර බොහෝ ගණනාවක මෙම පඤ්චශීලය භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන ඇත.
- අර්ථකථා බොහොමයකත්, විශුද්ධිමාර්ගය ආදියේද පංච ශීලය ගිහියාගේ ශීලය ලෙස දක්වා ඇත.
පන්සිල් රැකීමේ අනුසස්
- පඤ්චසීල සමාදානීය ථේරාපදානය අනුව ආනිසංස තුනක් ලබයි
- දීර්ඝායුෂ ලැබීම
- මහත් වූ භෝග සම්පත් ලැබීම
- තීක්ෂණ ප්‍රඥා ඇති වීම
- මීට අමතරව ඒ ඒ එක් එක් සිල්පද රැකීමෙන් වෙන වෙනම අනුසස් ලැබේ.
- පන්සිල් රැකීම අභය දානයක්ද වන නිසා එම අනුසස් ද ලැබේ.
- දෙවියන්ගේ පවා වන්දනාවට ලක් වේ. දෙවියන් පිහිට වේ.
- දානාදී අනෙක් කුසල් මහත්ඵල බවට පත් වේ. (ශීලයක් රකිමින් දෙන දානයේ මහත්ඵල බව වැඩි වේ)
පන්සිල් නැවත නැවත සමාදන් විය යුතුද?
- සෝවාන් නොවූ ඕනෑම අයෙක් අතින් පංච ශීලය ඇතැම් විට කැඩීමට ඉඩ ඇත. එමනිසා නැවත නැවත සමාදන් විය යුතුය.
- නොකඩා රැකගෙන ආවද නැවත සමාදන් වීම තුලින් කුසල් සිත් ඇතීවීම කුසලයකි.
- නිතර නිතර සමාදන් වීම මගින් පංච ශීලය රැකීමට අමතර උනන්දුවක් ඇති වේ.
- එමනිසා හැකි ඕනෑම අවස්තාවක නැවත නැවත සමාදන් විය යුතුය.