පාණාතිපාත / ප්‍රාණඝාත යනු කුමක්ද?
• ප්‍රාණයාගේ අතිපාතය හෙවත් හෙලීම/නැසීම පාණාතිපාත ලෙස හඳුන්වයි. ප්‍රාණ වධය, ප්‍රාණ ඝාතය ලෙස හඳුන්වන්නේත් මෙයම වේ.
• එනම් ජීවී වූ (පණ ඇති) ඕනෑම සත්වයෙකුගේ ප්‍රාණය කිසියම් උපක්‍රමයක් භාවිතයෙන් නිරුද්ධ කිරීම ප්‍රාණඝාතයක් වේ.
• මනුෂ්‍ය, අමනුෂ්‍ය ඕනෑම ප්‍රාණියෙකුගේ දිවි තොර කිරීම මීට අදාළ වේ.
පණ / ප්‍රාණය යනු කුමක්ද?
• ව්‍යවහාර වශයෙන් සම්මුති වශයෙන් සත්වයෙක් වේ.
• එනම් නාම-රූප දෙකේ එකතුවකි.
• තවත් කියතහොත් ප්‍රතිසන්ධි චිත්තයේ සිට චුති චිත්තය දක්වා පවතින්නා වූ වර්තමාන භවය (නාම-රූප පැවැත්ම) වේ.
• පරමාර්ථ වශයෙන්ම කියතහොත් ජීවිතීන්ද්‍රිය වේ.
- රූපජීවිතෙන්‍ද්‍රිය-අරූපජීවිතෙන්‍ද්‍රිය කියා දෙකක් වේ. රූපජීවිතෙන්‍ද්‍රිය උපක්‍රමයෙන් නැසිය හැක. අරූපජීවිතෙන්‍ද්‍රිය උපක්‍රමයෙන් නැසිය නොහැක. රූපජීවිතෙන්‍ද්‍රිය නසන කල්හි ඒ සමගම අරූපජීවිතෙන්‍ද්‍රියද නිරුද්ධ වෙයි.
★★ රූපයක් (කය) නැති අරූපී සත්වයාගේ (අරූප බ්‍රහ්මයන්) ප්‍රාණය උපක්‍රමයෙන් නැසිය නොහැක.(අරූපජීවිතෙන්‍ද්‍රිය පමණක් ඇති බැවින්) ★★
ප්‍රාණඝාතය කරන්නා වූ ආකාර දෙක
- තමා විසින්ම කිරීම
- අන් අයෙකු ලවා කරවීම
මේ දෙආකාරයෙන්ම ප්‍රාණඝාත අකුසල කර්මය සිදුකල හැක.
ප්‍රාණඝාතයේ අංග පහ (05)
- ප්‍රාණඝාත අකුසල කර්මය සම්පූර්ණ වීමට මෙම අංග පහ (05) ම සපුරා තිබිය යුතුයි.
- ප්‍රාණියෙකු වීම
- ප්‍රාණියෙකු යන සංඥාව (පණ ඇතියෙකු බව දැනීම)
- වධක චිත්තය (මරනු කැමති සිත)
- උපක්‍රමය (ඝාතනය සඳහා යොදන උපාය)
- එයින් මරණය සිදු කිරීම (යෙදු උපායෙන්ම ප්‍රාණය නිරුද්ධ වීම)
- ප්‍රාණඝාත අකුසලය සම්පූර්ණ වීමට මෙම අංග පහ (05) සම්පූර්ණ විය යුතුය. මෙයින් එක් අංගයක් හෝ නොයෙදුණේ නම් ප්‍රාණඝාත නම් අකුසලය සිදු නොවේ. නමුත් අසම්පූර්ණ අංග වලින් පවා අකුසල් සිදුවිය හැක. ඒ අකුසල් සිත් යෙදීම නිසාය. (උදා: වධක චිත්තය යන අංගය තනිව පවා අකුසල් රැස් කරයි)
➤ ප්‍රාණියෙකු වීම: එනම් ජීවිතීන්ද්‍රිය නොනැසී සත්වයෙකු වීමය. ප්‍රාණියෙකු යන දැනීමෙන් යුතුව වධක සිතින් උපක්‍රමයක් ක්‍රියාත්මක කර ඇත්තේ මළකුණකට හෝ වෙනත් කෘතීම වස්තුවකට/නාම ධර්ම නැතියකට නම් එහිදී පළමු අංගය සම්පූර්ණ නොවේ. එමනිසාම පස්වන අංගයද සම්පූර්ණ නොවේ. මන්ද නිරුද්ධ වීමට ප්‍රාණයක් නොතිබූ බැවිණි.
➤ ප්‍රාණියෙකු යන සංඥාව: උපක්‍රමය යොදන්නා හෝ අනුබල දෙන්නා විසින් ප්‍රාණියෙකු ලෙස හැඳින ගෙන සිටිය යුතුයි. ගල් ගෙඩියක යැයි සිතා එය කුඩු කිරීමට උපක්‍රම වශයෙන් කුළු මිටියෙන් පහර දී තිබෙන්නේ ඉබ්බෙකුට වී නම්, ඒ සතා එම පහර දීමෙන් මිය ගියේ නම් ප්‍රාණඝාත අකුසලය නොවේ. ඒ දෙවන අංගය අසම්පූර්ණ බැවිණි. සංඥාව තිබුණේ අප්‍රාණික ගලක් ලෙස බැවිණි.
➤ වධක චිත්තය: මෙයින් මරනු කැමති සිත අදහස් වේ. එනම් චේතනාව වේ. චේතනාව අනිකක් වී නම් අනෙක් අංග සම්පූර්ණ වුවද ප්‍රාණඝාත නොවේ. වෛද්‍යවරයෙකු රෝගියෙක් සැත්කමට ලක් කරන විට ප්‍රාණියෙකු වීම, ප්‍රාණියෙකු යන සංඥාව ඇත. ඔහු නහරයක් කැපීමේ උපක්‍රමයක් යොදා එම උපක්‍රමය නිසා රෝගියා මිය ගියේ ද ප්‍රාණඝාත නොවේ. මන්ද, අනෙක් අංග සතරම යෙදුනද වධක චිත්තය නොවේ. රෝගියා සුව කිරීමේ චේතනාවෙන් හා එයින් රෝගියාගේ දිවි රැකේ යැයි අරමුණින් ඔහු එම නහරය කපන බැවිණි.
➤ උපක්‍රමය: මෙය යොදන වෑයම වේ. එනම් කාය හෝ වචී කර්මය වේ. අනෙකෙකු ලවා මැරවීමේදී වචනය බලපායි. තමා විසින් මරනුයේ කාය කර්මය වේ. උපක්‍රමයක් නොයොදන කල අනෙක් අංග තිබුනද ප්‍රාණඝාත නොවේ. දඩයම්කරුවෙකු දඩයමට ගොස් පණ ඇති සතෙකු දැක, ප්‍රාණ සංඥාවද ඇතිව, මරනු කැමති වධක චිත්තයද ඇතිව සිටි නමුත් උපක්‍රමයක්/වෑයමක් නොයොදන්නේ නම් ප්‍රාණඝාතයක් නොවේ.
➤ යෙදු උපායෙන්ම මරණය වීම: මුල් අංග සතරම සම්පූර්ණ වුවද මෙය අසම්පූර්ණ නම් ප්‍රාණඝාතය නොවේ. අයෙක් මිනිසෙකු මැරීමට උපක්‍රමය ලෙස පොල්ලෙන් ගසා මරණයට ලක් කිරීමට සිතා පොල්ලෙන් පහර දුන් කල ඒ මිනිසා පොලු පහරට ලක්ව පසු කලෙක මියයයි. පසු කලෙක වුවද මිය යන්නේ පොලු පහර නිසාම නම් ප්‍රාණඝාත අකුසලය පහරදුන් තැනැත්තාට වේ. පොලු පහර කා තිබුණද පසුව ඔහු මියගියේ දියවැඩියා රෝගී තත්වයක් උත්සන්න වීම හේතුවෙන් නම් පහරදුන් තැනැත්තාට ප්‍රාණඝාත අකුසලය නොවේ. මන්ද ඔහු යෙදු උපක්‍රමයෙන් නොව, අනෙකකින් මරණයට පත් වූ නිසාවෙනි.
ප්‍රාණඝාතය සම්පූර්ණ වීම සම්බන්ධව තවත් වැදගත් කරුණු.
• සාවෙකු මැරීමට සිතා වෙඩිල්ලක් පත්තු කල කල්හි මුවෙකුට වැදී මියගියේ නම් ප්‍රාණඝාත නොවේ.
• සාවුන් රංචුවක එක් සාවෙක් ඉලක්ක කර ඒ සතා මරනු කැමතිව වෙඩි තිබ්බේ නමුත්, වෙඩි වැදී මියැදුණේ රන්චුවේම වෙනත් සාවෙකු නම් ප්‍රාණඝාත නොවේ.
• සාවුන් රංචුවක් ඉලක්ක කර කුමන හෝ සාවෙකු මැරේවා කියා වෙඩි තබනුයේ, කිනම් සාවෙකු වෙඩි වැදී මියගියද ප්‍රාණඝාත වේ.
• යුද්ධයක බෝම්බයක් දමනුයේ සතුරු පාර්ශවයේ කිනම් හෝ සතුරෙකු මැරේවා කියා සිතා නම්, මැරෙන මැරෙන සතුරන් ප්‍රමාණයටම ප්‍රාණඝාත වේ.
• වධක සිතින් වුවද නොමරනු කැමතිව, රිදවීම පිණිස පමණක් පහර දී එම පහරින් මියගියේ නම් ප්‍රාණඝාත නොවේ.
• අයෙකුට මරනු කැමතිව වස දී ඔහු වස කෑවද නොමලේ නමුත් විසි තිස් අවුරුද්දකට පසුව අර වස නිසාවෙන් මියගියේ නම් ඒ මියගිය කෙනෙහි වස ලබා දුන් තැනැත්තාට ප්‍රාණඝාත සම්පූර්ණ වේ.
• ගමනක් යාම සඳහා පාර දිගේ ඇවිදන් යන විට පයට පෑගී සතුන් මැරෙනා නමුත් ප්‍රාණඝාත නොවේ. මන්ද ඇවිදිනුයේ සතුන් මරණ චේතනාවෙන් නොව ගමනාන්තය කරා යන අදහසිනි.
• ගබ්සා කිරීමකදී, එය කරන්නාට, අනුබල දෙන්නාටද ප්‍රාණඝාත වේ. මන්ද කළල රූපයේ පටන් දශක කලාප සමග විඤ්ඤාණයද බැසගෙන ඇති නිසාවෙනි.
ප්‍රාණඝාතයේ ප්‍රයෝග සය (06)
- සාහත්‍ථික
- ආණත්තික
- නිස්සග්ගිය
- ථාවරය
- විජ්ජාමය
- ඉද්ධිමය
සාහත්‍ථික ප්‍රයෝගය
✦ ප්‍රාණය නැසීම සඳහා තම සියතින්ම කරනු ලබන ගැසීම්, පහරදීම්, තැලීම් ආදී වූ සිය-කායික වෑයම වේ. අංග පහ සම්පූර්ණ කලහි ප්‍රාණඝාත අකුසලය වේ.
ආණත්තික ප්‍රයෝගය
✦ අණ කිරීම් වශයෙන් පර පණ නැසීම වේ. එනම් “මෙසේ පහරදී මරනු” ආදී වශයෙන් අණ දීම් වේ. අණ ලබා දුන් ආකාරයෙන්ම එම උපක්රමයෙන්ම ඝාතකයා පණ නැසුවේ නම් අණ දුන්නවුන් හටද ප්‍රාණඝාත වේ.
- ගලකින් ගසා අසවල් පුද්ගලයා මරව කියා අණ දුන් කල ගලකින් නොගසා පොල්ලකින් ගසා මැරුවේ නම් අණදුන් තැනැත්තාට ප්‍රාණඝාත නොවේ. (ආවුධං)
- ගලකින් ගසා වෙනකෙන් මැරුවේ නම් එයද අණදුන් තැනැත්තාට ප්‍රාණඝාත නොවේ. (වත්‍ථු)
- උදේ වරුවේ මරනු කියා අණ දුන් කල සවස් වරුවේ මැරුවේ නම් අණදුන් තැනැත්තාට ප්‍රාණඝාත නොවේ. (කාලෝ)
- සිටගෙන සිටිනා වේලෙහි මරනු කියා අණ දුන් කල නිදාගෙන සිටිද්දී මැරුවේ නම් අණදුන් තැනැත්තාට ප්‍රාණඝාත නොවේ. (ඉරියාපථො)
- වනයෙහිදී මරනු කියා අණ දුන් කල නගරයේදී මැරුවේ නම් අණ දුන් තැනැත්තා හට ප්‍රාණඝාත නොවේ (ඔකාසො)
- පහරදී මරනු කී කල ගෙල මිරිකීමෙන් මරා දමන ලද්දේ නම් අණ දුන්නා හට ප්‍රාණඝාත නොවේ (කිරියා විසෙස)
- දුන් විධානය ඒ අයුරින්ම, අංග පහද සම්පූර්ණ වෙමින් ක්‍රියාත්මක කර ප්‍රාණය නැසූ කල අණ දීම් වශයෙන් ප්‍රාණ ඝාතය සම්පූර්ණ වේ.
නිස්සග්ගිය ප්‍රයෝගය
✦ දුර සිටින්නෙකු මරා දැමීම සඳහා කරනු ලබන ප්‍රයෝග වේ. එනම් පොලු, ගල්, ඊතල ආදී කිසිවක් තමාගේ අතින් මුදාහැරීම වශයෙන් කරනු ලබන ප්‍රාණ ඝාත වේ.
ථාවර ප්‍රයෝගය
✦ උගුල්, වලවල්, තුවක්කු බැඳීම්, බෙහෙත් යෙදීම් ආදී නිශ්චල උපකරණ ස්ථාවර ලෙස යෙදීම මගින් කරනු ලබන ප්‍රයෝග වේ.
විජ්ජාමය ප්‍රයෝගය
✦ සූනියම්, පිල්ලි, අංගම්, යන්ත්‍ර-මන්ත්‍ර, අනවින කොඩිවින, වේද ගන්‍ධාරවිද්‍යාදි විවිධ විද්‍යාවන් ප්‍රයෝග ලෙස යොදාගැනීම් වශයෙන් ප්‍රාණඝාතය.
ඉද්ධිමය ප්‍රයෝගය
✦ ඇතැම් සතුන් හට තවකෙකු නැසීම සඳහාම භාවිතා කල හැකි සෘද්ධි වේ. එනම් කර්‍මවිපාකජඍද්ධිය ආදී වේ. නාගයන්ගේ නාගසෘද්ධිය, ගුරුළන්ගේ ගුරුළුසෘද්ධිය, යකුන්ගේ යක්‍ෂසෘද්ධිය, දෙවියන්ගේ දේවඍද්ධිය, රජුන්ගේ රාජඍද්ධිය ආදී වේ.
・නාගසෘද්ධිය- දැකීමෙන් දෂ්ට කිරීමෙන් ස්පර්‍ශ කිරීමෙන් නැසීමට ඇති හැකියාව
・ගරුඩඍද්ධිය- මහ මුහුදින් බඹ දෙතුන්සියය පමණ වූ නාගයන් නගාගැණීම.
・යක්‍ෂසෘද්ධිය- එන්නේ, පහර දෙන්නේ නොපෙනීමය. එසේ විත් පහර දුන් කල සත්වයෝ එතනම මැරි වැටෙන්නේය.
・දේවඍද්ධිය- සෝවාන් වීමට ප්‍රථම වෛශ්‍රවණ දෙවි නයනායුධයෙන් බැලු කල කුම්භාණ්ඩයන් මැරී වැටිණි. ඒ ඒ ආකාරයෙන් දෙවියන්ට පවතින සෘද්ධි.
・රාජඍද්ධිය- සක්දෙව් රජුගේ පිරිවර සහිත අහස් ගමන්, අශෝක රජුගේ උඩ යට යොදුනක් අණ පැතිරවීම් (පෙර පිනක ප්‍රාර්ථනාවක්), පිතෘරාජ නම් සිංහල රජු දත්මිටි කෑ කල චූලසුමන මැරී වැටීම ආදී වේ.
ප්‍රාණඝාතයේ උද්දිස්ස-අනුද්දිස්ස භේදය
- උද්දිස්ස: කෙනෙකු නියම කොට පහර දීම. නියම කල කෙනා මරණයට පත් වීම.
- අනුද්දිස්ස: එකෙකු නියම නොකොට කවුරුන් හෝ මැරේවා කියා ප්‍රහාරය කල කලහි, ඒ හේතුවෙන් යම් කිසිවෙකුගේ මරණයට පත් වීම.
ප්‍රාණඝාතයේ නානත්වය
👉 බොහෝ වධකයන් ➜ බොහෝ ආයුධ/බොහෝ ප්‍රයෝගයෙන් ➜ බොහෝ නැසිය යුත්තන් නසන විට ➜ බොහෝ ප්‍රාණඝාත වේ.
👉 එක් වධකයෙකු ➜ එක් හෝ බොහෝ ප්‍රයෝගයෙන් / එක් හෝ බොහෝ චේතනාවෙන් ➜ බොහෝ නැසිය යුත්තන් නසන විට ➜ බොහෝ ප්‍රාණඝාත වේ.
👉 බොහෝ වධකයන් ➜ එක් හෝ බොහෝ ප්‍රයෝගයෙන් / එක් හෝ බොහෝ චේතනාවෙන් ➜ නැසිය යුතු එකෙකු නසන විට ➜ බොහෝ ප්‍රාණඝාත වේ.
ප්‍රාණඝාතයේ සමුට්ඨාන තුන (සමුට්ඨානතො)
- කායචිත්ත
- වාචාචිත්ත
- කාය වාචා චිත්ත
- (වෙදනාතො) ප්‍රාණඝාතය වේදනා වශයෙන් දුක්ඛවේදනා සම්ප්‍රයුක්තය.
- (මූලතො) ප්‍රාණඝාතය මූල වශයෙන් ද්වේෂය හා මෝහය මුල් කොට ඇත්තේය.
- (කම්මතො) ප්‍රාණඝාතය කර්‍ම වශයෙන් කාය කර්‍මමය.
ප්‍රාණඝාතයේ මහා සාවද්‍ය අල්ප සාවද්‍ය බව
✦ තිරිසන්-මනුෂ්‍ය ලෙස ගත් කල මනුෂ්‍ය පණ නැසීම මහා සාවද්‍ය වේ. තිරිසන් අල්ප සාවද්‍ය වේ.
✦ තිරිසනුන් අතුරින් විශාල ශරීර ඇත්තේ මැරීම මහා සාවද්‍ය වේ. කුඩා ශරීර ඇත්තේ අල්ප සාවද්‍ය වේ. (ප්‍රයෝග මහත් බැවිණි. මදුරුවෙකු මැරීමට ක්ෂණික කුඩා උපක්‍රමයක්. යෙදෙන අකුසල චිත්ත වීථි අවම වේ. / අලියෙකු මැරීම. මහත් වෑයමක්, කාලයක්, සැලසුමක් යෙදේ. අකුසල සිත් බලවත් ලෙස බොහෝ යෙදේ.)
✦ මනුෂ්‍යන් අතරින් ගුණවත් මිනිසෙකු මැරීම මහා සාවද්‍ය, ගුණ හීනයෙකු මැරීම අල්ප සාවද්‍ය වේ. ගුණ මහත්වය නිසාවෙනි.
✦ ආනන්තරීය පාප කර්ම යටතේ ඉතා බලවත් ප්‍රාණ ඝාත තුනක් ඇත.(එය වෙනම ලිපියකින් කතා කල යුතුය)
මේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය වීම තීරණය කරන කරුණු
- ප්‍රයෝගය මහත්/සුළු
- වස්තු(ශරීර) විශාල/කුඩා
- ගුණ මහත්/හීන
- ක්‍රෝධය මහත්/මද
ප්‍රාණඝාතයේ විපාක
👉 ප්‍රතිසන්ධි විපාක හා ප්‍රවෘත්ති විපාක ලෙස දෙවැදෑරුම් වේ.
- සතර අපායේ උපද්දවයි (ප්‍රතිසන්ධි විපාක: අකුසලයන්ගේ ප්‍රතිසන්ධි විපාක සතර අපායම වේ)
- රෝග බහුල වේ.
- අල්පායුෂ වේ.
- අසම්පූර්ණ ශරීර අංග වේ.
- ඌන, දුබල ශරීර වේ.
- අන් අයට අප්‍රිය වේ.
- අශෝභන සිරුරු ඇත්තෙක් වේ.
- පිරිස් බලය බිඳේ.
- නිතර ශෝක කරන්නෙක් වේ.
- නිතර බියෙන් පෙලේ. නොකරුණෙහි පවා බිය වේ.
- සතුරන් බොහෝ වේ. සතුරන්ගේ හානි බොහෝ වේ.
- අන් උපක්‍රමයෙන් මරණයට පත් වේ.
ප්‍රාණඝාතයෙන් වැළකීමේ අනුසස්
- සම්පූර්‍ණ වූ අඟපසඟ ඇති බව
- ආරෝහ පරිනාහ සම්පන්න බව
- ජව සම්පත් ඇති බව
- මනාකොට බිම පිහිටන පා ඇති බව
- මනෝඥ ශරීර ඇති බව
- මෘදු වූ ශරීර ඇති බව
- පිරිසිදු ශරීර ඇති බව
- ශූර බව
- මහත් වූ කාය බල ඇති බව
- නොපැකිළ කියන්නාවූ වචන ඇති බව
- ලෝවැස්සන්ට ප්‍රිය බව
- නිදොස් බව
- නොබිඳෙන පිරිස් ඇති බව
- කිසිවෙකුට භය නැති බව
- කිසිවෙකු විසින් මැඬ පැවැත්විය නොහැකි බව
- අනුන්ගේ උපක්‍රමයකින් නොමියන බව
- අප්‍රමාණ පිරිවර ඇති බව
- සුරූපී බව
- යහපත් ශරීර සටහන් ඇති බව
- අල්ප ආබාධ ඇති බව
- ශෝක නොකරන බව
- ප්‍රියමනාප අයගෙන් වෙන් නොවන බව
- බොහෝ ආයු ඇති බව
උපක්‍රමයෙන් ඝාතනය නොකළ හැකි විශේෂ අවස්ථා
● අරූප සත්වයන් (ඉහත සඳහන් කල අයුරින්)
● පශ්චිමභවික බෝසතුන් (බුදුවන ආත්මභාවයේ උපන් බෝසතුන් ඒකාන්ත වශයෙන්ම බුදු වේ. කිසිසේත් දිවි තොර නොවේ)
● සම්මාසම්බුදුවරුන් (බුදුන්ගේ දිවි තොර කිරීමට සමත් කිසිවෙකු අනන්ත සක්වල නැත. එය ධර්මතාවකි)
● නිරෝධ සමාපත්තියේ සිටින උතුමන් (නිරෝධ සමවතට සමවදින අනාගාමි/රහත් උතුමන් සමවැදීමට ප්‍රථම ආයු පිරික්සා බලා සමාපත්තියෙන් නැගිටින කාලයක් ඉටා ගනී. එම සමවතෙහි සිටින කාලය තුල ඔහුගේ දිවි තොර කිරීමට නොහැකිය/ තොර නොවේ)
● පශ්චිමභවික සතුන් නිවන් දකිනා තුරු (එනම් සිය අවසන් භවය නොහොත් නිවන් දකිනා භවයේ සිටින අයෙකු, අරහත්වය සාක්ෂාත් කරනා තෙක් කිසිලෙසකින්වත් ඝාතනය කල නොහැක. එනම් අරහත් වී මිස මිය නොයයි. සංකිච්ච්ඡ තෙරුන්ගේ කතාව එය ප්‍රකට කරයි)
ප්‍රාණඝාත අකුසලය හා එයින් වැළකීමේ සිකපදය පිලිබඳ තවත් බොහෝ කරුණු විස්තර ත්‍රිපිටකයේ, අටුවාවේ තවත් ඇත. ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වන බැවින් සාරාංශ කල මූලික කරුණු කිහිපයක් පමණක් සඳහන් කර ඇත.