- සිත නොමැති කය තිබූ තැන ඒ අයුරින් සිටීම හැර කිසිවක් නොකරයි. සිතටද සිටගෙන සිටීම, යාම ඒම, කෑම බීම ආදී වූ කිසිදු ක්‍රියාවක් තනිවම කරවිය නොහැක.
චේතනාව යනු
◉ කායික, වාචසික, මානසික ක්‍රියා සිදුකරන්නා වූ ද, සිත සමගම උපදින ශක්ති විශේෂය චේතනාව නම් වේ.
◉ තමාද පිළියෙළ වීම් වශයෙන් අරමුණෙහි යෙදෙමින් සෙසු චෛතසිකයන්ද ඔවුන්ගේ කෘත්‍ය වල යොදවනු ලබන ධර්මස්වභාව චේතනාව නම් වේ.
◉ සිතෙහි හා ඒ සමග පහළවන චෛතසිකයන්ගේ උත්සාහවත් බව ඇති කරන ශක්ති විශේෂය චේතනා චෛතසිකය නම් වේ.
උදාහරණ
👉 මිනිසෙකු බල්ලෙකුට ගැසීම: සිත කරනුයේ බල්ලා නමැති අරමුණ ගැනීම පමණකි. සිතට අන් යමක් නොකරයි. සිත සමග උපන් චේතනාව විසින් වායු වේගය ඇති කිරීමෙන් යම් ශරීරාවයක් බල්ලා වෙත චලනය කරවා පහර දීම සිදු කරයි. (චේතනාව කර්මය යැයි කියනුයේ ද මේ බැවිනි)
👉 කුඹුරු හිමියා පිරිස සමග ගොයම් කපන විට තමන්ගේ කෘත්‍යයද කරන අතරම අනෙක් පිරිසද ඔවුනොවුන්ගේ කාර්‍යයන් වල යොදවමින් උත්සාහවත් කරයි. චේතනාවද ඒ අයුරින් වේ.
👉 යුද්ධයක දී සේනාධිපති විසින් තමන්ද යුද්ධ කරමින් අන් සෙබළුන්ද ඔවුන්ගේ කාර්‍යයන් වල උත්සාහවත් කරන අයුරින් චේතනාව ද කටයුතු කරයි.
- ස්වල්ප වූ සම්ප්‍රයුක්ත ධර්ම (චෛතසික) යෙදෙන අහේතුක විපාක ආදී සිත් වල යෙදෙන චේතනා චෛතසිකය දුර්වල වේ.
- කුසල හා අකුසල සිත් වල වැඩි චෛතසික ගණනක් යෙදෙන බැවින් කල යුතු කෘත්‍යය ද අධික ය. එබැවින් එම සිත් වල යෙදෙන චේතනාවද බලවත් වේ.
- චේතනාවටම කර්මය, සංඛාරය, ආයුහනය යන නම් භාවිතා කරයි.
- මේ චේතනාවද සිත සමගම නිරුද්ධ වන්නේ ලැබිය යුතු විපාක ශක්තිය උපදවා දෙමින්ය.
- යම් කටයුත්තක් කරන කල්හි චිත්ත වීථි ලක්ෂ කෝටි සංඛ්‍යාවක් ඇතිවන බැවින් ඒවායේ යෙදෙන අපමණ ජවන් සිත්වල යෙදෙන අපමණ චේතනාවට වෙන වෙනම විපාක සකස් වේ.
- චේතනා චෛතසිකය සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයක් වේ.
චේතනාවේ නානත්වය
චේතනාවට අනුකූල වී එක් සිතකින් අනේක වූ ක්‍රියා සිදු කිරීම.
- කර්මය අදහන්නෙකු පහන් සිතින් කාගේවත් මෙහෙයවීමෙන් තොරව මල් නෙලා, පැන් ඉස, මල් ආසන පවිත්‍ර කොට, මල් සකසා, මල් පූජා කරයි. මේ කාර්යය සියල්ලම සිදු කිරීමේදී ඇති වුයේ සෝමනස්ස සහගත ඥාණ සම්ප්‍රයුක්ත අසංඛාරික කාමාවචර කුසල සිත වේ. චේතනාව හැර එහි චෛතසික 32කි. මේ එකම සිතින් විවධ ක්‍රියා කරනු ලැබුවේ චේතනාවෙ නානත්වය නිසා වේ.
(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)