ජවන් සිත යනු

අරමුණු දැන ගැනීම, ඒ ඒ ක්‍රියා සිදුකිරීම පිලිබඳ වූ අධික වේගයක්(වීර්යයක්) ඇති සිත් ජවන චිත්තය නම් වේ.

- මෙහි වේගය යනු කාලය පිලිබඳ නොවේ. සෑම සිතකම කාලය(ආයුෂය) එක සමාන වේ(චිත්තක්ෂණ එකකි).

- මෙහි වේගය යනු ජවය/වීර්යය වැනි අදහසින් ය.


- වීර්යය මද සිත් අජවන සිත් නම් වේ. (භවාංග ආදී අතීත කර්මයාගේ විපාක සිත්)

- භවාංග සිත් හැරුණු විට සත්ත්ව සන්තානයේ බහුලවම පහල වනුයේ ජවන සිත් ය.


ජවන සිතේ කාර්යය

◉ අරමුණු වඩාත්ම හොඳින් දැනගැනීම

◉ ක්‍රියා සිදුකිරීම

◉ කුසල හා අකුසල සිදුකිරීම 


ජවන සිතක් පහල වන ආකාරය

- ඇස ඉදිරියට එන වස්තුන්ගේ ඡායා ඇසෙහි පහල වීම සිදු වේ (එය ඇස හා රූපයේ ගැටීම යැයි පවසයි). චක්ඛු ප්‍රසාද වස්තුවේ ගැටීම මෙයින් අදහස් වේ.

- එම රූප ඡායාව එකෙනෙහිම භවාංග සන්තතියේ ද ගැටීම සිදු වේ. එමනිසා භවාංග සිතෙහි ප්‍රකෘතිය මදක් වෙනස් වේ. මෙයට "භවාංග චලනය" යැයි කියයි.

- ඒ හේතුවෙන් භවාංග පහල වීම නැවතී චිත්ත සන්තතිය රූප ආරම්මණය දෙසට යොමු වේ. එනම් ඇසෙහි ගැටුණු දෙය අරමුණු කරගෙන අලුත් සිතක් පහල වීම වේ. එය "ආවර්ජන චිත්තය" නම් වේ.

- එම ආවර්ජන සිත නිරුද්ධ වනු සමගම ඇසෙහි ගැටුණු දෙය වඩා හොඳට ගන්නා සිතක් ඇසෙහිම පහල වේ. එය “චක්ඛු විඤ්ඤාණය” නම් වේ. (දැකීම/පෙනීම යැයි කියනුයේ මේ සිත ඵල වීමට වේ)

- එම චක්ඛු විඤ්ඤාය නිරුද්ධ වනු සමගම එයින් ගත් රූප ආරම්මණය ඒ අයුරින්ම පිළිගන්නා “සම්පටිච්ඡන සිත” නම් සිත පහල වේ.

- ඉන්පසු අරමුණෙහි සැටි විමසන්නා වූ “සන්තීරණ සිත” නම් සිත පහල වේ.

- එම විමසු දෙයෙහි සැටි විනිශ්චය කරන්නා වූ “වොත්ථපන සිත” සිත ඉන්පසු පහල වේ.

- ඇසෙහි රූප ඡායාව ගැටීම හේතුවෙන් උත්සහයකින් තොරව මේ සිත් ටික පිළිවෙලින් ඉපිද නිරුද්ධ වේ.

(ආවර්ජන ➜ චක්ඛු විඤ්ඤාණය   සම්පටිච්ඡන   සන්තීරණ   වොත්ථපන)

- මේ සිත් පහම අජවනයෝ ය.


- මේ සිත් පහට අනතුරුව, විනිශ්චය විනිශ්චය කරනු ලැබූ රූපයේ රසය විඳින්නා වූ බලවත් සිතක් පිළිවෙලින් සත් වරක් (7) පහල වේ.

- අධික වීර්යයෙන් යුතු එම සිත “ජවන චිත්තය” නම් වේ.


- ඒ අතරත් ඇතැම් ජවනයෝ නැවත නැවත බොහෝ ජවන ඇතිකරන්නා වූ බලවත් ජවනයෝ වේ. අනාගත බලයක් ඉතිරි නැතිව නිරුද්ධ වන දුබල ජවනයෝ ද වෙති.

- පින් (කුසල්) හා පව් (අකුසල්) වනුයේ ද මේ ජවන සිත්මය.

#කුසල, #අකුසල, #කුසලාකුසල නොවන ලෙස ජවන සිත් තුන් ආකාර වේ.

(ඉහත දැක්වූ රූප ආරම්මණය සේම අනෙක් ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනෝ යන ආරම්මණ කෙරෙහිද එලෙසම වේ)

- ජවන් සිත් සතක් පිළිවෙලින් පහල වීම සෑම අවස්ථාවකම සිදු නොවේ. ඇතැම් අවස්තාවක සයක් හෝ පහක් හෝ ඊටත් අඩු අවස්ථා ඇත. (ඒ පිලිබඳ වෙනත් ලිපියකින් කතා කරනු ලැබේ)


ජවන් සිත් පනස් පහ (55) කි

  • අකුසල් සිත් 12
  • කාමාවචර කුසල් සිත් 08
  • කාමාවචර  මහා ක්‍රියා සිත් 08
  • හසිත්තුප්පාද සිත 01
  • රූපාවචර කුසල සිත් 05
  • රූපාවචර ක්‍රියා සිත් 05
  • අරූපාවචර කුසල සිත් 04
  • අරූපාවචර ක්‍රියා සිත් 04
  • ලෝකෝත්තර මාර්ග සිත් 04
  • ලෝකෝත්තර විපාක සිත් 04 


(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)