- සිතට දැනෙන දේවල් අරමුණු නම් වේ.

- දැනීමක් ඇති වීමට නම් දත යුතු දෙයක සම්බධය තිබිය යුතුය.

- සිතක් ඉපදීමට නම් අරමුණු සිතෙහි ගැටිය යුතුය.

- සිත සෑම විටම උපදිනුයේ දත යුතු දෙය හා ගැටී එය බදාගෙනය.

- දැනීම එකකි, දත යුත්ත හා ගැටීම/සැපීම අනෙකකි. එය දැනීම හා සමගම සිදුවන අප්‍රධාන ක්‍රියාවකි.

- සැපීම යනු අතරක් නොමැති ලෙස ලං වීමය. මෙය වස්තු දෙකක සැපීම වැනි දෙයක් නොවේ. සූක්ෂම දෙයකි.


ඵස්සය යනු

අරමුණු වීමේ හැකියාව ඇති බොහෝ දෑ අතුරෙන් එකක් අරමුණක් ලෙස ගෙන ඒ අරමුණ සිතෙහි හැපීම, ස්පර්ශ වීම ආකාරයෙන් සිතෙහි ම හටගන්නා ස්වභාවය ඵස්ස නම් වේ.


- මෙම ස්පර්ශයේ ප්‍රමාණය අනුව සිත කුඩා හෝ මහත් වේ.

- සිත ඇත්ත වශයෙන්ම ආරම්මණයෙහි ගැටීමක් නොවේ. රුවන්වැලිසෑය අරමුණු කරන සිත අනුරාධපුර දක්වා දික් වී සෑයෙහි ගැටීමක්/ස්පර්ශයක් නොවේ.

- නැති දේවල් අරමුණු කරගෙනද සිත් පහල වේ. අතීතයේ අනාගතයේ පහල වූ දේවල් අරමුණු කරගෙනද සිත් පහල වේ. ඒ හැම සිතක්ම අරමුණ හා ස්පර්ශ වීම මෙම ඵස්ස චෛතසිකය නිසා වෙයි.

- අතින් වස්තුවක් ගත හැකි වීම අත එම වස්තුවේ ස්පර්ශ වීමේ ඵලය වේ.

එලෙසම සිතට අරමුණු ගත හැකි වීම චෛතසික ස්පර්ශයේ ඵලය වේ.

- පූර්වයෙහි ගන්නා ලද කර්ම, කර්ම නිමිති ආදී අරමුණුද භවාංග සිතෙහි ස්පර්ශ කරවන්නේ ඵස්ස චෛතසිකය මගිනි.

- සත්වයාගේ පැවැත්මට ආහාරයක් වන බැවින්ද මෙයට ඵස්ස ආහාරය යයිද කියයි.


👉 ස්පර්ශය ඇති වූ පසු සිත උපදී ලෙස නොගත යුතුය. මේ ඵස්සයද සිත සමගම ඉපිද, ඒ සමගම පැවත, සිත සමගම නිරුද්ධව යයි. පෙර-පසු නොවූ ක්‍රියාවකි.


- මෙය සෑම සිතකම යෙදේ.


(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)